RSS Feed

කොහොමද කික් එක

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

ගිය අවුරුද්දේ නොවැම්බර් හතරවෙනිදා කොටුව අධිආරක්ෂිත කලාපය ඇතුලට යන්න ගිහිං අපේ කැම්-පස් සහෝදරයෝ කස්ටියක් ව පොලීසිය නාවලා කරලා එව්වා මතකද දන්නේ නෑ. කොහොම මතක තියාගන්නද හප්පේ... කී සැරයක් නම් ඉල්ලන් කාල නාලා එන්න ඇති ද මේ උන්දැලා. ඒවා ගැන කතා කරන්න මේ බ්ලොග් එකේ එක අඟලක් වත් නාස්ති කරන එක අපරාධයක්.

ඉතිං ඔය ගුටි කෙ‍ළි අතරමගදී අපේ පොලිස් මහත්තැන් කෙනෙකුට වෙච්චි ඇබැද්දියක හැටි බලමුකෝ.








Read more »

කොටියගේ නැට්ට

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

විල්පත්තු ජාතික වන උද්‍යානය ආයෙත් ජනතාව වෙනුවෙන් විවෘත වුනා. විල්පත්තුව වනෝද්යානයේ හිටපු උද්යාන භාරකරු වසන්ත පුෂ්පානන්ද, උතුරු මැද පළාත් හමුදා ආඥපතිවරයා ඇතුළු පිරිසක් උද්යානය ඇතුලෙදී ඝාතනයට වීමෙන් පස්සේ උද්යානය 2007 මාර්තු මාසෙදී වහලා දැම්මට පස්සේ තමයි මේ වෙලකල්ම වහලා තිබුණු උද්‍යානය ආයෙත් මෙහෙම නැවත විවෘත කලේ. අවුරුදු කීපයක් වහල තිබුන විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත විවෘත කරපු එක ලංකාවේ ඇතුළු ලෝක වාසී පරිසර ලෝලින්ට විශේෂයෙන්ම සත්ත්ව ලෝලින්ට සුභ පණිවිඩයක්. ඒ අයට විතරක් නෙවෙයි මේ පණිවිඩය සුභ වෙන්නේ. මේ උද්‍යානයට එන සංචාරකයන් නිසා විල්පත්තුව අවට ගම් වල මිනිස්සු කී දෙනෙත් තමන්ගේ බඩ පුරවා ගන්න ඇති කියලද හිතන්නේ. බඩඉරිඟු කරලේ, දර මිටියේ ඉඳලා සෆාරි ජීප් එක, රෙස්ට් හවුස් එකට වෙනකල්ම යම් යම් දේවල් විකුණලා තමන්ගෙත්, තමන්ගේ දරුවන්ගෙත් බඩගින්න නිවපු මිනිස්සු ඕනේ තරම් ඒ අවට හිටියා. මේ උද්‍යානය වහලා දැම්මට පස්සේ මේ මිනිස්සුන්ගෙන් සෑහෙන දෙනෙකුට බඩේ පාර වැදුනා. සමහරු සෆාරි ජීප් අරන් තිබුනේ ගොඩක් ලොකු ගනන් වලට ෆිනෑන්ස් දාලා. හෝටල් හදාගෙන තිබුනේ ලොකු බැංකු ණය වලින්. මේ වගේ ලොකු බිස්නස් වලට අත ගහලා හිටියට ඒ අය ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ඒ පැත්තේ බොහොම සාමාන්‍යය මිනිස්සු. විල්පත්තුව බලන්න එන ගොඩක් සංචාරකයෝ මේ මිනිස්සු විඳින දුක දන්නේ නෑ. ඒ නිසා තමයි බඩඉරිඟු කරලක්, දරමිටියක් ගන්න ගියහම රුපියලට දෙකටත් කේවල් කරන්නේ. තමන්ගේ රුපියලෙන් දෙකෙන් ‍මේ මිනිස්සු කරගන්න වැඩ කන්දරාව ඒ උදවිය දන්නේ නෑ.

මම විල්පත්තුව ගැන කියන්න ගියේ ඒ කතාව නෙවෙයි. ඒ ගැන කතා කරන්න ගියොත් ඔහොම පොඩියට කතා කරන්නත් බෑ. මම ඇවිත් ඒ පැත්තේ මිනිහනේ. ඉතිං ඒ පැත්තේ මිනිස්සු වෙනුවෙන් යම් හඬක් නගන එක මගේ යුතුකමක්. ‍ළහිරුගේ වාඩියෙන් ම මම ඒ යුතුකම පටන් ගන්නවා, ළගදීම... මේ කියන්න යන්නෙත් ඒ වගේ තව කතාවක් තමයි. හැබැයි මේ කතාවේ පොඩි ජොලියකුත් තියෙනවා. බලන්නකෝ

පහුගිය කාලේ ඒ කියන්නේ හතරවෙනි ඊලාම් යුද්දේ පටන් ගන්න ඔන්න මෙන්න කාලේ. නැගෙණහිර බොහොම තදට යුද්දේ යන ක‍ාලේ. මේ සිද්දිය වුනේ අපේ ගම් පලාතේ මම ඔය කියන දවස්වල. මේ කියන ගම්මානේ තියෙන්නේ විල්පත්තු ජාතික වනොද්‍යා‍නය දකුණු මායිමේ අන්තිමට වෙන්න. ඒ දවස් වල විල්පත්තු කැළයට කුඩා කණ්ඩායම් විදියට ඉන්න කොටි (කකුල් දෙකේ) වගයක් පැනලා උන් එක සීරුවට පිස්සු නටනවා. නිතරම මායිමේ තියෙන අවට ගම්මාන වලට පැනලා පවුලක දෙකක කීප දෙනෙක් මරා දානවා. මේ දවස්වල මම මේ කියන ගම්මානෙටත් මුන් නිතරම ඇට්ටෑක් කරනවා. ඒ නිසා ‍මේ ගම්මානවල රක්ෂිත මායිමේ ඉන්න පවුල් සෑහෙන ප්‍රමාණයක් ගෙවල් දොරවල් අත ඇරලා ගම ඇතුලට ආවා. ඒ දවස්වල අපිටත් මාර හිසරදයක් වෙලා තිබුනේ මේ කරදරය. මොකද මුන් හිටිගමන් මායිමෙන් ඇතුලටත් ඇවිත් ගම මැද්දේ ගෙවල් වලටත් දෙන්න ගත්තා. අපි හිටියෙත් මායිමට ඒ තරම් දුරකින් නෙවෙයි නේ.

ඔන්න ඉතිං අර ගෙවල් දාලා ආවයි කිව්ව කට්ටිය අතරේ ඉන්නවා අපේ කැලෑසියේ බුවෙකුත්. දවසත් උන්ගේ ගෙවල් ලඟටත් කොටි පැනලා පවුලක් මරලා දාලා හෙන හදියක් ගියපු නිසා පහුවෙනිදම මුන්ගේ ගෙදර කස්ටියම ඇවිත් ගමේ ඇතුලට වෙන්න තියෙන උන්ගේ නෑදෑ ගෙදරකට. කලින්දා බුවා දැකලා තියෙනවා කොටි ඇට්ටෑක් එකට එනවත්. ඒ නිසා මුන්ගේ පවුල නම් යන්තම් කනින් වගේ බේරුනා. දැන් පහුවෙනිදට පහුවෙනිදා මෙකා ආවා ඉස්කෝලේ. හප්පා මූට තියෙන ඉල්ලුම. ඇයි ඉතිං එල්.ටී.ටී.ඊ කාරයෙක් දෑහින් දැකපු එකෙක් නෙව. අපිත් ඉතිං උගෙන් අහලා දැනගත්තා මේ කොටි කියන එවුන්ගේ සුවරූපය. අපි දැකලත් නෑනේ. මූත් අනේ කිසි ලෝබ කමක් නැතිව අපිට කියනවා උන් මේ විදිහය. ඇඳගෙන හිටියේ මෙහෙමය කිය කියා. අපේ උන්ටත් ඉතිං කට පියාගෙන එක මිනිත්තු පහක් ඉන්න බෑ නෙව. එකෙක් අහපි මචං, ඔය කියන කොටින්ට නැට්ටක් තිබුනේ නැද්ද බං කියලා.

අරූට අයේ මොනවද මළ කියන්නේ මල් වත්තයි. මූත් ගත් කටටම අරූට කියපි. නැට්ටක් නං තිබුනා වගේ මතකයි... ඒත් ඉස්සරහින්ද පස්සෙන්ද කියලා මතක නෑ බං, උඹට ඕනේ නම් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ ගිහිං හරියටම බලාගෙන වරෙං . අර නැට්ට ගැන අහපු එකා කොහෙ ගියාද නෑ... ඇයි යකෝ අරූට ඉන්න හිටින්න තැන නෑ මේ මගුල නිසා. ඉතිං තද‍ නොවී ති‍යේයෑ ඔහොම කතා ඇහුවාම.



Read more »

තවත් කතාවක්...

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

(කතෘ අඥ්ඤාතයි)


මේ කතාව මම අද වෙනකංම කාටවත් කියලා නෑ. වෙන එකක් තියා කතා නායකයා වෙන ඔයාවත් දන්නේ නෑ. ඔයානොදන්නවා වුනාට මම ඔයා නිසා කොච්චර දුක් විඳින්න ඇත්ද?

ඒ කාලේ ඉස්කොලේ ලඟ තිබුන නල ලිදේ වතුර බොන්න ළමයි ‍එක පිට එක පොර කනකොට කෝ දෙන්න නංගි වතුර ‍‍‍බෝතලේ මම පුරෝලා දෙන්නම් කියලා අනික් හැමෝම අතරින් මට උදව් කරපු ඔයා දිහා මොහොතක් නතර වෙලා බල‍ාගෙන හිටියා මම. ඔයා දැක්කේ නෑ නේද?

ඔයා තමයි අපේ පාසලේ දක්ෂම ශිෂ්‍යයා. ඒනිසාම ශීෂ්‍ය නායකයෙක් වීමේ වාසනාව ඔයාට ලැබුනා. දවසක් උදේ පාසල් බස් එක පරක්කු වෙලා පාසලට එන්න පරක්කු වුණු ළමයි දණගස්සලා තිබ්බා. දණගහගෙන හිටපු මගේ දිහාවට ඇඟිල්ල දික් කරපු ඔයා ආයේ එහෙම පරක්කු වෙලා එන්න බහැ. දැන් පන්තියට යන්න කියලා මාව නිදහස් කළා. මොහොතේ මගේ පුංචි හිතට දැනුනු ආඩම්බරය කියන්න වචන නෑ.

තවත් සිදධියක්, පාසලේ කලා උළෙලේ පිළිගැනීමේ නැටුම කලේ මම. නැටුම ඉවර වෙලා ළමයින්ගේ අතිපොළසන් මැද්දේ මම වේදිකාවෙන් බැහැලා එනකෙට පුංචියට හිටියට ලස්සනට නැටුවා කියලා ඔයා කිව්වා. ම‍‍ට හරියට ලැජ්ජා හිතුනා. මම බිම බලාගෙන හිනා වුනා.

කාලය වේගයෙන් ගලාගෙන ගියා. අපිත් හිරිමල් යෞවනයට ළඟා වුණා. ඔයා කල කී සෑම දෙයක්ම මට විශේෂයි කියලා හිතුනා. උසස් පෙළ පන්තිය ආපු ඔයාලා පංතියෙන් සමු ගන්න දවස ඇවිල්ලා. අක්කලා නම් නඳුළු සලමින් ඇඬුවා. ඒත් ඔයාලා ඇස් අග කඳුළු පුරෝගෙන හිනාවෙන්න උත්සහ කළා. යාළුවෝ කා අතරත් සමරු පොත් හුවමාරු වුනා. සම වයසේ නොවුනත් මාත් ළමයින්ගේ අතරින් දුවගෙන ඇවිත් මගේ සමරු පොත ඔයාට දිගු කළා. ඉස්කෝලේ ඇරුනම ලියපු සමරු පොත මගේ සුරතේ තියලා ඔයා නොපෙනී ගිය‍ා.

එදා වෙනදාට වඩා ඉක්මනින් කාමරේ ඇඳ මතට ගියේ ඔයා සමරු පොතේ තියපු සටහන බලන්න. රෝස පාට පිටුවක කළුපාට පුංචි අකුරින් නංගි ඔයා මගේ මැරුණු නංගියා වගේමයි. කියලා සටහන් කරලා තිබුනා. කම්මුල් දිගේ ගලාගිය කදුළු වල උණුසුම මට දැනුනා. මම ඔයාගෙම නංගි වුනානම් මෙහෙම දුකක් නෑ නේද කියලත් මට හිතුනා. කෙනෙකුගේ හිතක් කියවන්න මොන තරම් අමාරුද කියලා මට දැණුනේ ඒ වෙලාවේ. ඒත් දැන් ඒ අතීතය අවුරුදු ගානක් පරණයි. තාමත් මම ඒ අතීතයට ආදරෙයි. කියවන්න බැරි වුන හිතට ආදරෙයි...


හිතෙන දෙයක් කමෙන්ට් කලාට වරදක් නැතුවා...


Read more »

හිඟන්නෝ...

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

අද නම් මම තියන්න යන කතාව නිසා මගේ බෙල්ල යාවි ද දන්නෑ. කියන්න සංතෝසයි අද රටේ ප්‍රජාතන්නතරවාදය නිසා දැන් බ්ලොග් එකක් ලියන්න වෙලා තියෙන්නෙත් දත් තිස්දෙක මැද්දේ තියෙන දිව වගේ ඉඳගෙන නොවැ. ඒත් වෙලාවක හිතෙනවා මේක නම් කට කෑවත් කියන්න ඕනේ කියලා. කවුරු වුනත් මේවා දැනගත්තට අහක යන්නේ නෑ. ඔන්න එහෙනම් මගෙත් ‍බේරුමට උන්ගෙත් බේරුමට දන්නෝ දනිති, නොදන්නෝ යථා කාලයේ දැන ගනිති කියලා ලිව්වා සමහර නම් ගම් මනඃකල්පිතව.

අද මාතෘකාව හිඟන්නෝ, සමහර වෙලාවට අතේ සතේ නැතිවෙනකොට එහෙම අපිත් ඔරිමජිනල් හිඟන්නෝ තමයි. ඒත් මම කියන්න යන්නේ අපි වගේ අර්ධ කාලීන නොවන පූර්ණ කාලීන සේවයේ නියුතු හිඟන්නේ එහෙමත් නැන්නම් නම්බු පිටින් කියනවනං යාචක වෘත්තියේ නියැලෙන්නෝ ගැන. ඒ අතරත් ඉන්නවා සමහරු, උන්ට කියන සිංහල බාසාවේ තියෙන වචනය මොකක්ද කියලා මම තාම හොයනවා. උන් ගැන පස්සේ කියන්නම්. දැන් කියන්නේ පෙනුමෙන් ම ජෙනුයින් හිඟන්නෝ ගැන. ඒකෙනුත් වැඩි පිරිසක් නි‍යෝජනය කරන හොර හිඟන්නෝ ගැනයි අද කතිකාවත.

මම හිතන්නේ යාචක වෘත්තියේ නියැ‍ලුණු ලංකාවේ පෝසත්ම හිඟන්න‍ා හිටියේ අපේ ඒරියා එකේ ඒ කියන්නේ අනුරාධපුර පූජනීය නගරයේ. සමහරු නම් මේ කතාව අහලත් ඇති. හප්පේ නියම පොරක් නේ මිනිහා. ඔය අනුරාධපුර නව නගරය ඒ අවට තමයි මිනිහගේ ෆීල්ඩ් එක. මම හිඟන්නා කවුද කොහොම පොරක්ද කියන්න යන්නේ නෑ. කිව්වා කියලා වැඩකුත් නෑ. මිනිහා දැන් ජීවතුන් අතර නෑ. ජීවත් වෙලා ඉන්නකල් මිනිහටම කියලා තිබුනේ ස‍ාමාන්‍ය හිඟන්නෙකුට තියෙන කෝප්පයක්, කිලිටි රෙදි කඩමාල්ලක් වගේ ලට්ටා ලොට්ටා කීපයක් විතරයි. නමුත් මිනිහා මළාට පස්සේ එලි වුණු දේවල් ඇහුවාම තමයි මයිල් කෙලින් හිටින්නේ.

මේ මනුස්සයා හිඟන්නා වගේ හිටිය මොකද ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරියෙක්. නිකම් ව්‍යාපාරයක් නෙවෙයි. සමූහ ව්‍යාපාරයක්. මිනිහා පුද්ගලික මූල්‍ය ව්‍යාපාර හිමියෙක්. තේරෙන විදියට කියනවනං පොලී මුදලාලි නෙනෙක්. ඔය ඒ පැත්තේ බොහොම ප්‍රාථමික මට්ටමේ වෙලෙන්දෝ, එතකොට මිනිහා වගේ යාචක වෘත්තිකයෝ වගේ අය තමයි මිනිහගේ ගණුදෙණූකරුවෝ වෙලා තියෙන්නේ. මේක බොහොම රහසින් කරලා තියෙන්නේ. ඒක එහෙමයි. ඊලඟට මිනිහට තිබිලා තියෙනවා බස් එකක්. අනුරාධපුර නගරයේම වැඩ කරන එකක්. බස් එකකින් දවසකට එන ඉන්කම් එක හිතාගත්ත හැකිනේ. එතනින් ගියහම ඇඹිලිපිටිය පැත්තේ ලොකු කෙසෙල් වගාවක් සහිත ඉඩමක් ඇතුළු ඉඩ කඩම් කීපයක් වගේ තව තව වත්කම් බොහොමයක් තිබිලා තියෙනව‍ා. සමහරු කියනවා මිනිහා දරු පවුල් කාරයෙක් ය. දරුවන්ට හොඳට උගන්නලා තියෙවාය. ඒ ගොල්ලෝ හොඳ තැන්වල ඉන්නවය කියලාත ඒවා නම් ඇත්තද බොරුද දන්නේ නෑ. හොදම කතාව මේකයි. මේ හැම දෙයක්ම මිනිහා කරලා තියෙන්නේ හිඟා කාලා හොයපු සල්ලි වලින් ලු. කොහොමද වැඩ. එක අතකින් මිනිහා නියම මැනේජ්මන්ට් එකක් තියෙන පොරක්. අපිටත් නියම ආදර්සයක් ගන්නව නං. මේ මේ වගේ උන් හොයලා තමයි දේශබන්දු දේශශක්ති සම්මාන පට්ටම් දෙන්න වටින්නේ. කොහොමද ජීවත් වෙලා ඉන්න කාලේ එලි වුනානම් මේ දේවල්, මිනිස්සුන්ගෙන් හම්බ වෙයි නියම සම්මාන පට්ටම් ටිකක්.

ඒ එහෙ කතාවක් නේ. මෙහෙත් ඉන්නවා ඔහොමද කියලා දන්නේ නැතත් ඔයිට ටිකක් ලඟින් යනවයි කියලා හිතෙන ජාතියේ බඩු කීපයක්. උන් නම් කරන්ට්ලි අවේලබල් කිසිම කරදරයක් නැතුව. ඒ නිසා මම මේවා ගෙඩි පිටින් දැම්මොත් මටත් වෙන්නේ අතක් පයක් නැතිව හිඟා කන්න. ඒ නිසා ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේ තමන්ගේ ආරක්ෂාව තවන්ම සලසා ගෙන (උන්දැටත් බැරිවෙච්චි වැඩේ) තමයි වැඩේ කරන්න වෙන්නේ. සමහරු හිතයිද දන්නේ නෑ බ්ලොග් සයිට් වල පෝස්ට් වෙන දේවල් හිඟන්නෝ දැන ගන්නේ කොහොමද කියල‍ා. එහෙම හිතන අයට ඉතිං සොරි තමයි. ඔහෙලා දන්නවද දන්නේ නෑ ගම්පහ ටවුන් එකේ ඉන්නවා ටීනේජ් හිඟන්නෙක්. ඌ ෆේස්බුක් එකෙත් ඉන්නවා. උගේ වැඩේ ම කීයක් හරි හොයාගෙන සයිබර් කැෆේ එකකට රිංගන එක. ඊට වැඩිය කියන්න බෑ ඌ ගැන. මොකද මමත් ගම්පහ යන්න එන්න එපැයි.

මට නිතරම හම්බවෙන සුපුරුදු හිඟන්නෝ කීප දෙනෙක් ඉන්නවා. නිට්ටඹූව නගරය හා ඒ අවට ප්‍රදේශ තමයි උන්දලාගේ ආවරණ කලාපය. උන් දැන් මට කොච්චර සුපුරුදු ද කියනවනං උන් බස් එකට නැගලා කියාගෙන යන හෑල්ල උන්ට කලිං, උන්ටත් වඩා හොඳට මට කිව්වහැකි. මේ බස් නැවතුමට සාමාන්‍යයෙන් හැමදාම යන්නේ එන්නේ එකම මගී පිරිසක්. ඉතිං මේ හිඟන්නොත් හැමදාම පාහේ හිඟා කන්නේ එකම පිරිසකින් බලාගෙන යනකොට. හැමෝම දන්නා හඳුනන උදවිය. මම ඉතිං පිටගංකාරයා වෙච්චි. මම දන්නේ නෑ ඔය එකෙකුගෙවත් වගතුග. ඒත් කාලයක් මේ පැත්තේ ඉන්න මිනිස්සු දන්නවා උන්ගේ කල්කිරියාව අගේට. දවසක් මම මේ කියන වර්ගයේ විද්වත් වෘත්තිකයෙක් නැග්ගා මම හිටිය බස් එකටත්. මිනිහගේ අතක පොඩි අඩුපාඩුවක්. උපතින්ම නෙවෙයි. මිනිහ කියන්නේ මොකක්ද මැසින් එකකට අහු වෙලා ලු. කෘතිමව ඒ අත දා ගන්න තමයි මේ කීය කීය හරි එකතු කරන්නේ. අනේ මම දන්නෑ එහෙම දාන්න පුළුවන් කමක් ලංකාවේ තියෙනවද කියලා. මම ඒක ගැන කල්පනා කරකකොට අර මිනිහා බැහැලා ගියාට පස්සේ මම ලඟ හිටිය මනුස්සයෙක්, දුන්නා නියම කමෙන්ට් එකක්. ඔය යකා දැන් හිඟා කාපු කාලේ හැටියට දැන් වෙනකොට කෘතිම අතක් නෙවෙයි, කෘතිම කකුල් දෙකකුත් දාගන්න පුළුවන් ඇති යි කියලා මේ මිනිහා බස් එකටම ඇහෙන්න කියාපි නේ. අර මිනිහාට ඇහුනා නම් ඇඩ්‍රස් නෑනේ. අනේ මංදා කවුරු හරිද කවුරු වැරදිද කියලා.

මේකත් කලිං ලොකේෂන් එකේම සිද්දියක්. චරිතය වෙනස්. මම පැත්තනට වෙලා හිටගෙන ඉන්නවා. මම හිටිය වගක් මිනිහට ගානක් නෑ. මිනිහා උදේ වරුවේ කලෙක්ෂන් බලනවා. අන්තිමට හයසිය පනහයි කියනවත් මම අහගෙන. ඔතෙනට ආවා බස් කොන්දා මහතෙක්. ඒ අයට ඉතිං මේ අය දෙයියොනේ මාරු කාසි මවන. ඇවිත් අහනවා අද කොහොමද? කියලා. මොකක්ද දන්නවද අර හිඟන්නයි කියන මනුස්සයා කිව්වේ වැඩක් නෑ බං, උදේ වරුවටම රුපියන් හයසිය පනහයි. මේකා කෑවත් මදිනේ ඉතිං.

ඔය වගේ ආත බූත ‍ෙගාඩක් තියෙනවා කියනවනං. ඒ ඇරෙන්න වෙනමම සාංස්කෘතියක් තියෙනවා නේ මොඩර්න් හිඟන්නන්ගේ. මේ අය‍ට හිඟන්නෝ කියන්නත් බෑ. ඒත් බලාගෙන යනකොට නොකියත් බෑ. අර කොල බෙදන උදවිය එහෙම. හප්පා ඒ අය ගැනත් කයි කතන්දර බොහොමයි. ඒවා ඉඩ තියෙන තියෙන විදියට තමා ඉතිං. හො‍ෙඳ්...



Read more »

ස්වීට් ‍ෆනිෂ්මන්ට්

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

මම ඇවිල්ලා අපේ පංතියට නැති තරමට හොඳ ඉතා වැදගත් වරිතමත් ශිෂ්‍යයෙක්. මට ඒ දවස්වල පුදුම ගායක් නේ තිබුනේ. කොටින්ම කියනවනං 2005 ඕ ලෙවල් බැජ් එකේ ශිෂ්‍යයෙකුට ලැබුණු ලොකුම ෆනිෂ් එක ලැබුනෙත් මට ම තමයි. මම හිතන්නේ ඒකත් වැදගත් කතාවක්. වරද ඉස්කෝලෙන් හොරෙන් පැන යාම. සිද්දිය මෙහෙමයි. ආ... ඒ සිද්දිය වුනේ තවත් සිද්දියක් නිසා. ඒ සිද්දියත් මරු. ඒක දන්නේ නැතුව අර සිද්දිය අහනවා කියන්නේ මේ බ්ලොග් එක පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා. ඒ නිසා ඉස්සරෝම ඒක අහල ඉමු.

අපේ පන්තියේ ඒ දවස්වල තිබුනේ කොට බිත්ති. ඉන්ටර්වල් වෙලාවට කවුරුහරි ඔය බිත්තියට හේත්තු වෙලා ඉන්නවා දැක්කොත් ඔන්න් එතන ඉඳං ඇරඹෙනවා රහස් මෙහෙයුම. කට්ටියක් කතා වෙලා හොරෙන්ම යනවා ඌ හේත්තු වෙලා ඉන්න තැනට. ගිහිං ඌත් එක්ක පටන් ගන්නවා ලොකු කයියක්. පහුවෙන්නේ ටික වෙලාවයි. මෙහෙයුමට ගිය කට්ටිය අතරින් එකෙක් දෙනවා පොඩි සංඥාවක්. එක ක්ෂණිකයෙන් හෙනයක් ගැහුවා වගේ අර බිත්තියට හේත්තු වෙලා හිටිය එකා කොට බිත්තියට උඩින් පන්තිය ඇතුලේ. ආයේ ඌට කිසි දෙයක් හිතාගන්න වෙලාවක් නෑ. හිතන දෙයක් හිතා ගන්න වෙන්නේ ආපහු නැගිට ගන්න පුළුවන් වුනොත් නැගිටල දූවිලි එහෙම පිහදාන ගමන් තමයි. අනතුරු සිදුනොවෙනවමත් නෙවෙයි. ඒත් ආතල් එක ඊට වැඩිය ලොකුයි නේ අපේ අය්යලාට. ඕකේ නිර්මාණ කාර්‍යය වුනෙත් අපි කීප දෙනෙකුගේ අතින්ම තමයි.

ඒත් වැඩි කල් නොගිහිං මගේ අරක්කු මටම ගහන දවස උදාවුනා. දවසක් මම ඉන්ටර්වල් එකේ බිත්තියට හේත්තු වෙලා ‍මොකද්දෝ විකාරයක් කල්පනා කර කර ඉන්නකොට අපේ කොල්ලෝ කස්ටිය සෙට් වුණා ඕන් මම හිටපු තැනට. මොනවදෝ කිය කියා ටික වෙලාවයි ගියේ. හරේ... කියනවා විතරයි ඇහුනේ. මට මොනවත් හිතාගන්න වෙලාවක් තිබුනේ නෑ. මම බිත්තියෙන් පන්තිය ඇතුලේ. මුනින් අතට ඩෙස් එකක් උඩ පතබෑවිච්චි. මට ඇහුනේ කස්ටිය හිනා වෙනවා විතරයි. මොනවා කරන්නද ඉතිං ගහන්නයැ. වැඩි අනතුරක් නොවුනු නිසා මම නැගිට්ටා. නැගිටලා බලනකොටයි දෙයියෝ සිහි වුනේ. කමිසේ පහලම බොත්තම ඇරෙන්න අනික් බොත්තම් සේරම කැඩිලා. දැන් මක් කරන්නද? ක්ලාස් එකේ සර්ට බොරුවක් කියලා යන්තම් ඉස්කෝලෙන් එලියට ගිහිං ලඟ තිබුණූ ට්‍රේලර් ෂොප් එකකින් ‍බොත්තම් හතරත් අල්ලගෙන තමයි ඕන් යන්තම් පන්තියට ආවේ. එනකොට ඉන්ටර්වල් එකේ කෑලිත් නෑ. ඔන්න ඕ තමයි කතාවේ පළවෙනි කොටස.

ඊලඟට අලි මදිවට හරක් කිව්වලු. අර ට්‍රේලර් ෂොප් එකේ ගෝතයා මගේ කමිසෙට අල්ලලා දීලා තියෙන්නේ ලා කළු පාට බොත්තම් වගයක නේ. මාත් හදිස්සියට දුන්න ගමන් ඇඳන් ආව මිසක් අල්ලපු බොත්තම් මොනවද කියලා බැලුවේ නෑනේ. දැන් මේ කමිසේ අපේ ගරු විදුහල්පතිතුමා නිකමට වත් දැක්කොත් වසලා හමාරයි. බොත්තම් කැඩුණු නිසා හදිස්සියට ඇල්ලුව ඒවා කියන්නයැ. ඇයි හත් දෙයියනේ එකක් දෙකක් නම් කමක් නෑ. බොත්තම් සේරම නේ. ඉතිං හිතන්නේ මම හිතලම කර ගත්තු දෙයක් කියලයි. වෙච්චි සිද්දිය කියන්න ගියොත් වෙන්නේ ඩබල් වාසි බොරු කිව්වා කියලා.

ඉතිං ඔව්වා මෙව්වා ගැන මගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් සහ පරිකල්පන මෙව්වා එකෙන් හිතලා මතලා ඕන් මම තීරනේකට ආවා. මොකද්ද තීරනේ. ෂෝට් ලීව් එකක් ද‍ාලා ගෙදර යන්න. හැබැයි ගෙදර යන්න වෙන්නේ හොරෙන්. රිස්ක් එකකුත් නැතුවම නෙවෙයි. ඕනේ මඟුලක් වෙන්න කියලා මම මගේ නයි මල්ලත් අරන් කොල්ලෝ කස්ටියත් දැනුවත් කරලා ඉස්කොලේ පැත්තකින් යන පාරේ තාප්පෙ පැත්තට ගියා. ආ... මාත් එක්ක යන්න තවත් පව්කාරයෙක් සෙට් වුනනේ. අපේ පන්තියෙම පොරක් තමයි. ඉතිං මම ඌවත් කුදලගෙන තාප්පේ ලඟට ගිහිං අත පය දිගෑරලා පැන්නා ත‍ාප්පෙන්. හොඳ වෙලාවට ඒ හරියෙන් තාප්පේ ටිකක් මිටියි. මමත් ලේසියෙන් ම පැන්නා. මම පස්සෙන් අරුත් පැන්නා. එතනින් එහාට කියන්න දෙයක් නෑනේ. ක‍ාපු බීපු තැන්වල සතා සරුපයා වු‍නත් ඉන්නේ නෑලු නේ. බඩු එතනින් වාස්ප.

මම එදා නම් හිතුවේ මේ කතාව මෙතනින් ඉවරයි කියලා. අපෝ නෑ හොඳම හරිය වුනේ පහු වෙනිද‍ා... එදා මම මුකුත් නොවුණු විදියටම වෙනදා වගේ පාන්දර අටට විතර ඉස්කොලේ ගියා කියමුකෝ. ගියා තමයි යනකොටම දැනගන්න ලැබුනා මමයි අරුයි ඊයේ පැන්නට පස්සේ වෙලා තියෙන සංතෑසිය. කොහොම කොහොම හරි මම ගෙදර යන්නත් කලිං මම කරපු හපන්කම අපේ පන්ති භාර උත්මානෝගේ කනේ වැටිලා. එතුමා සේරම වැඩ පැත්තක තියලා රෙජිස්ටර් එකත් අරං පන්තියට ඇවිත් කවදාවත් නැතුව හවස් වරුවටත් ඇවිත් පන්තියේ නම් ලකුණු කොරලා මගේයි අරූගෙයි නම ඉස්සරහින් බින්දු දාලා. උදේ වරුවේ එක, හවස බින්දුව. ඒ කරලා නිකං හිටුකෝ... මේ මනුස්සයා ඔෆිස් එකට ගිහිං කියල‍ා මගේ පන්තියේ උදේ හිටිය දෙන්නෙක් හවස් වෙනකොට නෑ කියලා. අපේ ලොකු තැනටත් ඉතිං ඊට වඩා දෙයක් තියේයෑ.

ඔන්න ඉතිං ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ අරූ නෑ. මාව කැඳවනවා ඔපීසියට. මුල ඉඳං අගටයි, අග ඉඳං මුලටයි නඩුව අහන්න පටන් ගත්තා. මමත් මොකාද එකා වගේ ඉවරයක් නැතුව බොරු කියනවා. සාක්කිකාරයොත් ඉඳලා හිටලා කැඳවනවා. ඒවා ගැන නම් බයවෙන්න දෙයක් නෑනේ. අපේ මට විරුද්දව මොකුත් කියන්නේ නෑනේ. ඒ නිසා සාක්කි විමසීම සහ දඬුවම් නියම කිරීම හෙටට කල් දානවා. හැබැයි තාවකාලිකව වැඩ තහනමකුත් දැම්මා. ඊයේ කරපු හපන්කම නිසාම ඊයෙට වඩ‍ා කලින් අද මම ගෙදර. පහුවෙනිදා ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා. හැබැයි අපේ අම්මාට විතරයි.

ඊලඟ දවසේ ලොකු තැනගේ නියෝගය පිට අපේ මව් යානාවත් ඉස්කෝලෙට ගොඩ බැහැපි. එතුමී අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා හොඳට අඳුනනවා. වෙන මුකුත් නිසා නෙවෙයි. නඩු වලටම ඉස්කෝලෙට ගිහිං. ඔන්න දැන් නඩු එහෙම අහලා ජූරිය රැස් වුනා. මටත් දැන් මේ වෙනකොට මල කියන්නේ මල් වත්තයි. ඇයි යකෝ. ඉස්කෝලෙන් ඉස්සෙල්ලාම පැන්න එකා මම වගේ මේ අය දඟලන්නේ. අනික් උන්ට හෙනවත් නෑ. මම හිතන්නේ මගේ චරිතේ හොඳ නිස‍ා වෙන්න ඇති. ටික වෙලාවකින් ජූරිය නැවත සභාගත වුන‍ා. මගෙන් අහනවා තමුසෙව ඉස්කොලෙන් අස් කරන්න යන්නේ, මොකද කරන්නේ කියලා ඉතිං අස්කරන්න යනව නං මම මක් කරන්නද මම එහෙමම කිව්වා. ඇයි මටත් හෙන කේන්තියි. කොහොමත් මම ඒ දවස් වල ලොක්කන්ගේ ලොකු ටෝක් වලට නැවෙනවා ටිකක් අඩුයි. දැන් නම් එහෙම නෑ. තමන්ට වාසියක් වෙනවා නම් තුනට හතරට වුනත් නැවෙනවා.

මම එහෙම කිව්වා ගමන් ලොකු මහත්තයට අසූ හාරදාහට තද වුනා. එහෙනම් පලයන්, උඹ ඉන්න එපා මේ පැත්තෙවත් කිය කියා කෑ ගහනවා. ම‍ාව අස්කරනවා කිව්ව ගමන් අපේ පන්තිභාර උන්දැගේ ඉහේ මලක් පිපුනා හේ වුනා. මිනිහා එදා ඉඳන් මා එක්ක තරහා නෙව. මොනවා වුනත් මගේ පැත්තට කතා කරන්න ස්ටාෆ් එකේ ඕනේ තරම් ගුරුවරු හිටිය නිසා මාව අස්කරන්න ලොකු තැනට බැරිවුනා. තද වුන වෙලාවට කෑගැහුවට මොකද ලොකු තැනත් මට ටිකක් මනාපයි. ඒ නිසා වැඩේ ගොඩින් බේර ගන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. මටත් මොකද මම හා කිව්වා. ඒත් අපේ පංති භාර මහත්තයා කියපි මාව ඒ පන්තියට ගන්න බැරිය කියලා. ඉතිං මොකද කරන්නේ. කොච්චර කිව්වත් මිනිහා නෙවෙයි කැමති වෙන්නේ. මේ මගුල ඉවර වෙන්නේ නැති තැන එක සර් කෙනෙක් නැගිටලා කිව්වා උඹ වරෙන් මගේ පන්තියට, සර් මම මෙයාව ගන්නම් කියලා ඒ සර් ඇවිත් ඕ ලෙවල් ඒ ක්ලාස් එකේ ක්ල්ස් ටීචර්. අනේ මමත් කැමති වුනා වෙන මොනවා කරන්නද ඉතිං. ඊට පස්සේ දැඩි ලෙස අවවාද අවලාද සේරම කිරීමෙන් පසු අත්හිටවූ ශාරිරිත දඬුවම් සහිතව මාව නිදහස් කලා.

ඔන්න ඔහොමයි ඔය කතාව ඉවර වු‍නේ. මට සතියක් පන්ති තහනම් කලා. ඊලඟ සතියේ ඉඳං මම අළුත් ත්ලාස් එකක. හැබැයි නම තියෙන්නේ පරණ පන්තියෙමයි. අපේ පන්තිභාර උන්දැට මාර පරිප්පුව. හැමදාම නම් ලකුණූ කරනකොටයි වෙන වෙන දේවල් වලටයි මාව හොයාගෙන පෙට්‍රල් පුච්චගෙන පොර එන්න ඕනේ මම ඉන්න පංතියට මම ඉන්න දිහාවට හරි. පව් අප්පා අහිංසකයා. මට නම් කොහෙත්ම අවුලක් නෑ. මම කොහොමත් එක පන්තියක හිටපු එකෙක් නෙවෙයිනේ. මම වෙනදටත් ඕ ලෙවල් පංති හතරෙම ඉන්නවා වැඩක් පලක් නැති වෙලාවට. ඒ නිසා පන්ති මාරු වුන‍ා කියල‍ා මට ඒක දඬුවමක් වුනේ නෑ. ඒ වෙනකොට විභාගෙට තිබුනෙත් මාස දෙකක් වගේ කාලයක්. ඒ නිසා ඊට සති දෙකකට පස්සේ පංති හතරම එකට දැම්මා සම්මන්ත්‍රණ පටන් ගන්න. එතකොට දඬුවම් තිබුනත් නෑ වගේ තමයි.

ආ ඊට සති දවස් දෙකකට විතර පස්සේ අර මාත් එක්ක පව් ගෙවන්න ආපු අනිකටත් කාලයාගේ ඇවෑමෙන් සතියකද දෙකකද කොහෙද පන්ති තහනමක් ලැබිච්චි. හොඳ වැඩේ අපි වගේ කරුමක්කකාරයෝ එක්ක හොර වැඩ වලට යනවට. ඕක තමයි ඒ අපේ ඕ ලෙවල් බැජ් එකේ කොල්ලෙක් කාපු ලොකුම ෆනිෂ් එක. වැරැද්දක් කරලා පංති තහනම් කරනවා වගේ ෆනිෂ් කෑවට තමන් හිටපු පන්තියත සදහටම තහනම් වුන එකෙක් නෑ මම ඇරෙන්න ඕන්. ඔය කතාවෙ තව අතුරු කතා බොහොමයි. මාව අහු කරල දුන්න එකත් මට පස්සේ අහු වුන‍ානේ. ඌ ප්‍රිෆෙටෙක්. ඒ කතා ඉඩ තියෙන තියෙන විදියට දාන්නම්කෝ හො‍ඳේ.



Read more »

අන්න සිරිත්

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

අපේ ජීවිතවල හොඳම කාලේ මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් එයා නොවරදවාම කියාවි ළමා කාලය නැත්තම් පාසල් කාලය කියලා. ගොඩක් අය වගේම මටත් කියන්න තියෙන්නේ ටිකම තමයි. මගේ ජීවිතයේත් සුපිරිම කාලය ඉස්කෝලේ ගිය කාලේ තමයි.

මම ඉස්කෝලේ ගිහිං තියෙන්නේ ලෙවල් වෙනකල් විතරයි. ලෙවල් වලටත් මාස ගානක් ගියා. අවුරුදු එකොලහට මොනතරම් දේවල් කරන්න ඇත්ද? ඉගෙන ගත්තා. හැටියටම පිස්සු කෙළියා. මොන දේ කලත් අන්තිමට A2, B5, C3 ක් එක්ක ලෙවල් පාස් වුණා. මම සාමාන්යයෙන් ඉස්කෝලෙ එච්චර හොඳ චරිතයක් නම් නෙවෙයි. බලු වැඩ නොකලට අම්බානක කැත වැඩ නං කරලා ඇති. කියන්න ගියොත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද දන්නේ නෑ.

මට හිතෙන හැටියට මම ඉස්කොලෙ හිටිය හොඳම පංතිය තමයි ලෙවල් පංතිය. අනේ මංදා ඇයි කියන්න. දවස් වල කරන්න වැඩ ඉහටත් උඩින්නේ. මටත් එහෙම තමයි. ඒත් අන්තිමට කරන වැඩකුත් නෑ. ඉස්කෝලේ ගිහිං ගෙදර ආපු ගමන් කාලා පැය දෙකක් විතර නිදා ගන්නවා. නිදා ගත්තා කියලා රෑට ඇහැරලා ඉන්නෙත් නෑ එක විනාඩියක්. නවය වෙනකොට බඩු නිදි. ආයෙ උදේ හයට විතර නැගිටලා හතයි පනස්පහට පටන් ගන්න ඉස්කෝලෙට හතයි පනස්හකරට විතර යනවා. දවස් වල අපිට අතුගාන්න තියෙන දවසක් වත් දන්නේ නෑ. අඩුම ගානේ අතුගාන්න තියෙන්නේ පංතියද මිදුලද කියන්නවත් අපි දන්නේ නෑ. මේක මට විතරක් තිබුණූ ලෙඩක් නෙවෙයි. විසි ගනනක් වුනු පංතියෙ මුලු පිරිමි සනුහරේටම තිබුණු ලෙඩක්. කට්ටියම උදේට යන්නෙත් එකට, ආපහු එන්නෙත් එකට. හමුවෙන සහ විසිර යන තැන ඉස්කොලේ ඉස්සරහා හන්දිය. එතන ඉඳං තමයි ඉස්කොලෙට යන්න පටන් ගන්නේ. ඝණ පූරණය වෙනකල් ගමනාරම්භ වෙන්නේ නෑ. අන්න සිරිත්


Read more »

ආයු‍බෝවන් ශ්‍රී ලංකා...

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:


මම ළහිරු, මේ තියෙන්නේ මගේ වාඩිය. වාඩියක් කිව්වට මේ ඉලෙක්ට්‍රොනික් වාඩියක් හෙවත් ඊ වාඩියක්. මේ වාඩියේ දැනට නම් ඉන්නේ මම විතරයි. ඒත් මේ වාඩියේ තව ගොඩක් ඉඩ තියෙනවා. ඕනේ නම් ‍කැමති කෙනෙකුට ඇවිත් ‍ෙම් වාඩියට ගොඩ වෙලා තියෙන දෙයක් ‍ෙබදාගෙන කාලා කයියක් එහෙම කාරිය ගහලා යන්න පුළුවන්. ආයේ වාඩි ගාස්තුවක් එහෙම ගන්නේ නෑ.

මේ මගේ පළවෙනි බ්ලොග් සයිට් එකත් නෙවෙයි. අනික් සයිට් වලට මොකද වුනේ කියලා නම් අහන්න එපා. ඒවට වෙච්චි දේ මමවත් දන්නේ නෑ. පටන් ගත්තට ඒවා එකක්වත් කරගෙන යන්න වෙලාවක් නැතිව යනවා. සමහර ඒවා පාවිච්චි නොකරන නිසාම නිසි බලධාරියා විසින් කපා හැරලා. අනේ පව්‍ නේද? මොනවා කරන්නද වැඩ පළ තියෙන උදවිය උනාම ඔහොම තමයි. හැබැයි මේ සැරේ මගේ වාඩිය වැහැව්වොත් මටත් වෙන්නේ පාරට බහින්නයි. ඒ නිසා මේක නම් කොහොම හරි බේර ගන්න වෙනවා.‍

වල් පල් කියෙව්වට මට බැරි වුනානේ මම ගැන කියන්න. මගේ ගම ඇවිත්, ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය, රජරට අනුරාධපුරේ නොහොත් පැරණි වන්නියේ. මම ඉපදුනේ, හැදුනේ වැඩුනේ, ඉස්කෝ‍ෙල් ගියේ එහේ. මම ඉස්කෝලේ ගියේ අනුරාධපුර මහසෙන් මහා විද්‍යාලයට. 12 වසරට වෙනකල් ඉස්කෝලේ ගියා. ඒ දවස්වල තිබුනු එක එක ප්‍රශ්ණ නිසා ඊට වඩා ඉගෙන ගන්න බැරි වුනා. ඊට පස්සේ තමයි මම වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්න ඕනේ කියලා කලපනා කලේ. අන්න ඒ නිසා මම අනුරාධපුරයට සමු දීලා වෘත්තීය අධ්‍යාපනය හොයාගෙන කොළඹ රටේ එනවා. කොළඹ රටේ කිව්වට ගම්පහ. ඔය කිව්වේ බොහොම කෙටියෙන් හරි ය.

යටගිය දවස වෙච්චි සිද්දි නං අනන්තයි, අප්‍රමාණයි. මේ බ්ලොග් ඒකේදී ඒ කතා ලුණු ඇඹුල් ඇතිව තව රස කරලා ලියන්නයි මම හිතාන ඉන්නේ. කියවන අයට කියවලා ගන්න දෙයක් තියෙනවනං අරගත්තට මගේ අමනාපයක් නෑ. යන එන ගමන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ඔන්න එහෙනම් හා හා පුරා කියලා පටාන් ගත්තා ළහිරුගේ ඊ වාඩිය....




Read more »