RSS Feed

කොටියගේ නැට්ට

Posted by: හිරු ගේ ඊ වාඩිය / Category:

විල්පත්තු ජාතික වන උද්‍යානය ආයෙත් ජනතාව වෙනුවෙන් විවෘත වුනා. විල්පත්තුව වනෝද්යානයේ හිටපු උද්යාන භාරකරු වසන්ත පුෂ්පානන්ද, උතුරු මැද පළාත් හමුදා ආඥපතිවරයා ඇතුළු පිරිසක් උද්යානය ඇතුලෙදී ඝාතනයට වීමෙන් පස්සේ උද්යානය 2007 මාර්තු මාසෙදී වහලා දැම්මට පස්සේ තමයි මේ වෙලකල්ම වහලා තිබුණු උද්‍යානය ආයෙත් මෙහෙම නැවත විවෘත කලේ. අවුරුදු කීපයක් වහල තිබුන විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත විවෘත කරපු එක ලංකාවේ ඇතුළු ලෝක වාසී පරිසර ලෝලින්ට විශේෂයෙන්ම සත්ත්ව ලෝලින්ට සුභ පණිවිඩයක්. ඒ අයට විතරක් නෙවෙයි මේ පණිවිඩය සුභ වෙන්නේ. මේ උද්‍යානයට එන සංචාරකයන් නිසා විල්පත්තුව අවට ගම් වල මිනිස්සු කී දෙනෙත් තමන්ගේ බඩ පුරවා ගන්න ඇති කියලද හිතන්නේ. බඩඉරිඟු කරලේ, දර මිටියේ ඉඳලා සෆාරි ජීප් එක, රෙස්ට් හවුස් එකට වෙනකල්ම යම් යම් දේවල් විකුණලා තමන්ගෙත්, තමන්ගේ දරුවන්ගෙත් බඩගින්න නිවපු මිනිස්සු ඕනේ තරම් ඒ අවට හිටියා. මේ උද්‍යානය වහලා දැම්මට පස්සේ මේ මිනිස්සුන්ගෙන් සෑහෙන දෙනෙකුට බඩේ පාර වැදුනා. සමහරු සෆාරි ජීප් අරන් තිබුනේ ගොඩක් ලොකු ගනන් වලට ෆිනෑන්ස් දාලා. හෝටල් හදාගෙන තිබුනේ ලොකු බැංකු ණය වලින්. මේ වගේ ලොකු බිස්නස් වලට අත ගහලා හිටියට ඒ අය ලොකු සල්ලිකාරයෝ නෙවෙයි. ඒ පැත්තේ බොහොම සාමාන්‍යය මිනිස්සු. විල්පත්තුව බලන්න එන ගොඩක් සංචාරකයෝ මේ මිනිස්සු විඳින දුක දන්නේ නෑ. ඒ නිසා තමයි බඩඉරිඟු කරලක්, දරමිටියක් ගන්න ගියහම රුපියලට දෙකටත් කේවල් කරන්නේ. තමන්ගේ රුපියලෙන් දෙකෙන් ‍මේ මිනිස්සු කරගන්න වැඩ කන්දරාව ඒ උදවිය දන්නේ නෑ.

මම විල්පත්තුව ගැන කියන්න ගියේ ඒ කතාව නෙවෙයි. ඒ ගැන කතා කරන්න ගියොත් ඔහොම පොඩියට කතා කරන්නත් බෑ. මම ඇවිත් ඒ පැත්තේ මිනිහනේ. ඉතිං ඒ පැත්තේ මිනිස්සු වෙනුවෙන් යම් හඬක් නගන එක මගේ යුතුකමක්. ‍ළහිරුගේ වාඩියෙන් ම මම ඒ යුතුකම පටන් ගන්නවා, ළගදීම... මේ කියන්න යන්නෙත් ඒ වගේ තව කතාවක් තමයි. හැබැයි මේ කතාවේ පොඩි ජොලියකුත් තියෙනවා. බලන්නකෝ

පහුගිය කාලේ ඒ කියන්නේ හතරවෙනි ඊලාම් යුද්දේ පටන් ගන්න ඔන්න මෙන්න කාලේ. නැගෙණහිර බොහොම තදට යුද්දේ යන ක‍ාලේ. මේ සිද්දිය වුනේ අපේ ගම් පලාතේ මම ඔය කියන දවස්වල. මේ කියන ගම්මානේ තියෙන්නේ විල්පත්තු ජාතික වනොද්‍යා‍නය දකුණු මායිමේ අන්තිමට වෙන්න. ඒ දවස් වල විල්පත්තු කැළයට කුඩා කණ්ඩායම් විදියට ඉන්න කොටි (කකුල් දෙකේ) වගයක් පැනලා උන් එක සීරුවට පිස්සු නටනවා. නිතරම මායිමේ තියෙන අවට ගම්මාන වලට පැනලා පවුලක දෙකක කීප දෙනෙක් මරා දානවා. මේ දවස්වල මම මේ කියන ගම්මානෙටත් මුන් නිතරම ඇට්ටෑක් කරනවා. ඒ නිසා ‍මේ ගම්මානවල රක්ෂිත මායිමේ ඉන්න පවුල් සෑහෙන ප්‍රමාණයක් ගෙවල් දොරවල් අත ඇරලා ගම ඇතුලට ආවා. ඒ දවස්වල අපිටත් මාර හිසරදයක් වෙලා තිබුනේ මේ කරදරය. මොකද මුන් හිටිගමන් මායිමෙන් ඇතුලටත් ඇවිත් ගම මැද්දේ ගෙවල් වලටත් දෙන්න ගත්තා. අපි හිටියෙත් මායිමට ඒ තරම් දුරකින් නෙවෙයි නේ.

ඔන්න ඉතිං අර ගෙවල් දාලා ආවයි කිව්ව කට්ටිය අතරේ ඉන්නවා අපේ කැලෑසියේ බුවෙකුත්. දවසත් උන්ගේ ගෙවල් ලඟටත් කොටි පැනලා පවුලක් මරලා දාලා හෙන හදියක් ගියපු නිසා පහුවෙනිදම මුන්ගේ ගෙදර කස්ටියම ඇවිත් ගමේ ඇතුලට වෙන්න තියෙන උන්ගේ නෑදෑ ගෙදරකට. කලින්දා බුවා දැකලා තියෙනවා කොටි ඇට්ටෑක් එකට එනවත්. ඒ නිසා මුන්ගේ පවුල නම් යන්තම් කනින් වගේ බේරුනා. දැන් පහුවෙනිදට පහුවෙනිදා මෙකා ආවා ඉස්කෝලේ. හප්පා මූට තියෙන ඉල්ලුම. ඇයි ඉතිං එල්.ටී.ටී.ඊ කාරයෙක් දෑහින් දැකපු එකෙක් නෙව. අපිත් ඉතිං උගෙන් අහලා දැනගත්තා මේ කොටි කියන එවුන්ගේ සුවරූපය. අපි දැකලත් නෑනේ. මූත් අනේ කිසි ලෝබ කමක් නැතිව අපිට කියනවා උන් මේ විදිහය. ඇඳගෙන හිටියේ මෙහෙමය කිය කියා. අපේ උන්ටත් ඉතිං කට පියාගෙන එක මිනිත්තු පහක් ඉන්න බෑ නෙව. එකෙක් අහපි මචං, ඔය කියන කොටින්ට නැට්ටක් තිබුනේ නැද්ද බං කියලා.

අරූට අයේ මොනවද මළ කියන්නේ මල් වත්තයි. මූත් ගත් කටටම අරූට කියපි. නැට්ටක් නං තිබුනා වගේ මතකයි... ඒත් ඉස්සරහින්ද පස්සෙන්ද කියලා මතක නෑ බං, උඹට ඕනේ නම් හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ ගිහිං හරියටම බලාගෙන වරෙං . අර නැට්ට ගැන අහපු එකා කොහෙ ගියාද නෑ... ඇයි යකෝ අරූට ඉන්න හිටින්න තැන නෑ මේ මගුල නිසා. ඉතිං තද‍ නොවී ති‍යේයෑ ඔහොම කතා ඇහුවාම.



0 comments:

Post a Comment